රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

129

එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.

පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා වෙත අදාළ ලිපිය භාර දී ඇත.

දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසමේ එළඹෙන රැස්වීමට යෝජනා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ එළඹෙන 18 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවය.