ලිට්‍රෝ රුපියල් 600ක් සහ ලාෆ් රුපියල් 700ක් මිල වැඩි කිරීමට ඉල්ලයි

128

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව සහ ගෑස් සමාගම් අතර අද (16) පැවති සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් දැනට මාස කිහිපයක සිට රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්විය.

ඒ අනුව අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුව මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් 600 කින් සහ ලාෆ් ගෑස් සමාගම රුපියල් 700 කින් ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා යෝජනා කර තිබේ.

කෙසේවෙතත් අමාත්‍ය අනුකමිටුව පෙන්වා දී ඇත්තේ වර්තමානයේ ජනතාව පත්ව සිටින අපහසුතාවයන් හේතුවෙන් එතරම් මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බවය.

පවතින තත්ත්වය හමුවේ විශේෂඥයින් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ගෑස් මිල සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය අනුකමිටුව මෙහිදී පවසා තිබේ.

එමෙන්ම ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් විකල්ප ක්‍රම හඳුන්වාදෙන ලෙස ද එම කමිටුව විසින් පාරිභෝගික අධිකාරියට සහ ගෑස් සමාගම් වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.